Monday, July 23, 2012

"හෙට සිට දින කිහිපයක් දිවා කාලයේ පැය 2 යි විනාඩි 15 ක් සහ රාත්‍රී කාලයේ විනාඩි 45 ක් විදුලිය විසන්ධි කෙරේ"




•ප්‍රධාන පද්ධතියට අහිමි වූ මෙගා වොට් 400 කඩිනමින් ලබාගැනීම සඳහා පියවර ගැනේ.
•කෙරවලපිටියෙන් අහිමි වූ මෙගා වොට් 100 ලබන 28 වනදා ජාතික පද්ධතියට එකතුකරන බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අවධාරණය කරයි.

පසුගිය මාස 07ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් 75% සිට 88% ක ධාරිතාවක් උත්පාදනය කෙරුනේ තාප විදුලි බලාගාර ආශ්‍රයෙනි. පසුගිය වසර තුළ අපේක්ෂා කළ මෝසම් වර්ෂා දෙකම අහිමිවීම මත වාර්ෂික ජල විදුලි උත්පාදනය 40% සිට 12%, 20% අගයයන් දක්වා පහත වැටිණ. මෙම තත්ත්වය හමුවේ ජාතික විදුලිබල පද්ධතිය සවිමත් කළේ කෙරවලපිටිය වෙස්ට්කෝස් ද්විත්ව චක්‍රිය බලාගාරයේ මෙගාවොට් 270 ක ධාරිතාව සහ පුත්තලම ලක්විජය ගල් අඟරු බලාගාරයේ මෙගාවොට් 300 ක ජනන ධාරිතාවයි. පසුගිය ජුලි 02 වනදා වෙස්ට්කෝස් බලාගාරය සම්පූර්ණයෙන් අඩපණ වුවත් ඉන් මෙගාවොට් 170 ක්, ජුලි 12 වනදා ජාතික පද්ධතියට එක්කිරීමට හැකියාව ලැබිණ. ඊයේ උදෑසන හදිසියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් මත පුත්තලම බලාගාරය සම්පූර්ණයෙන් අඩපණ කිරීමට සිදුවිය. මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට අහිමි වී ඇති බල ධාරිතාවය මෙගාවොට් 400 කි.

ජාතික විදුලි පද්ධතිය බල තුලනය කරගැනීමේ අපහසුතාවකට මුහුණ දී ඇත. තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා පවතින එකම විකල්පය විදුලිබලය විසන්ධි කිරීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අවධාරණය කරයි. සභාපතිවරයා සඳහන් කර සිටින්නේ හෙට (24) දින සිට අඩුම තරමේ 28 වන දින තෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උදෑසන 8.30 සිට සවස 5.30 අතර  කාලයේ පැය 2 යි විනාඩි 15 ක කාලයක් සහ රාත්‍රී 6.30 - රාත්‍රී 9.30 අතර කාලයේ විනාඩි 45 ක කාලයක් විදුලි කප්පාදු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෙට (24) කාණ්ඩ 04 ක් යටතේ, උපරිම පැය 2 යි විනාඩි 15 කට යටත්ව, පෙරවරු 8.30 - 10.45 අතර කාලයේ, පෙ.ව. 10.45 - ප.ව. 1.00. කාලයේ, ප.ව. 1.00 - ප.ව. 3.15 අතර කාලයේ සහ ප.ව. 3.15 සිට ප.ව. 5.30 අතර කාලයේ විදුලිය විසන්ධි කෙරේ. ඒ අනුව අනුරාධපුර, හබරණ, වවුනියාව, තුල්හිරිය, පන්නල, බෝලවත්ත,  පුත්තලම, කුරුණෑගල, හලාවත, මාදම්පේ, අම්පාර, ත්‍රිකුණාමලය, බියගම, කටුනායක, කොස්ගම, කැළණිය, ආනියාකන්ද, වේයන්ගොඩ, අතුරුගිරිය, පන්නිපිටිය, සීතාවක, ඇඹිලිපිටිය, බදුල්ල, නුවරඑළිය, රන්ටැඹේ, අම්බලන්ගොඩ, දෙණියාය, ගාල්ල, මාතර, මතුගම, පානදුර, කිරිබත්කුඹුර, හොරණ, පානදුර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, වාලච්චේන, කොටුගොඩ, සපුගස්කන්ද, අම්බලන්ගොඩ, උකුවෙල, විමලසුරේන්ද්‍ර, හම්බන්තොට, ඛෙලිඅත්ත, රත්මලාන යන ප්‍රදේශ වල සහ ඒ අවට ග්‍රාමයන්ගේ විදුලිය විසන්ධි කරන බව ලංවිම අවධාරණය කරයි.

තවද කොළඹ අවට කලාපයේ ගාළු මුවදොර, ජනාධිපති මාවත, වොක්ෂෝල් වීදිය, ඩික්මන්ස් පාර, නිදහස් මාවත, ජාවත්ත, ටොරිින්ටන් මාවත, හෝටන් පෙදෙස, රෝස්මිඩ් පෙදෙස, බොරැල්ල, කොටා පාර, බාන්ස් පෙදෙස, වෝඩ් පෙදෙස, ටවුන්හෝල්, ඩෑම් වීදිය, සුගතදාස ක්‍රිඩාංගණය, ග්‍රෑන්ඩ්පාස් සහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට හෙට පෙ.ව. 8.30 සිට 10.45 දක්වා විදුලිය විසන්ධි කෙරේ.

පෙ.ව. 10.45 සිට 1.00 දක්වා කාලයේ එම්පයර් සිටි, බම්බලපිටිය මහල් නිවාස, හැව්ලොක් පාර, කිරුලපන, මයුර පෙදෙස, ගෝතමී පාර, ආනන්ද රාජකරුණා මාවත, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ෙජ්තවන පාර, ශාන්ත ජෝන් වීදිය, කෙටවලමුල්ල, මැසෙන්ජර් වීදිය සහ ඒ අවට ප්‍රදේශ වල විදුලිය විසන්ධි කෙරේ.  ප.ව. 1.00 සිට ප.ව. 3.15 අතර කාලයේ කොළඹ අවට යෝක් වීදිය, පළවන හා දෙවන හරස් වීදිය, චැතම් වීදිය, සර් බාරොන්  ජයතිලක මාවත, ගාළු මුවදොර කොටසක්, යුනියන් පෙදෙස, ධර්මපාල මාවත, ලිබර්ටි ප්ලාසා, කොල්ලූපිටිය වෙළඳ සංකීර්ණය. බම්බලපිටිය, ඇල්විටිගල මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, පුංචි බොරැල්ල, දෙමටගොඩ, බේස්ලයින් පාර, බෝධිරාජ මාවත, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ටෙක්නිකල් හන්දිය, වරාය අවට විදුලිය විසන්ධි කෙරේ. සවස 3.15 සිට 5.30 දක්වා අතර කාලයේ ක්‍රෙස්කැට් නිවාස, එන්.ඩී.බී. බැංකු සංකීර්ණය. නවම් මාවත, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය, වැල්ලවත්ත සහ අවට, ඇල්බට් චන්ද්‍රවංකය, කේම්බි්‍රජ් පෙදෙස, සර් මාකස් ප්‍රනාන්දු මාවත, විජයරාම පාර, බෞද්ධාලෝක මාවත, වනාතමුල්ල, මැනිං වෙළඳ සංකීර්ණය, ඕල්කට් මාවත, පිටකොටුව, කොටහේන, අල්විස් පෙදෙස සහ ඒ අවට ප්‍රදේශ, විදුලි විසන්ධි කිරීමට භාජනය කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.

එම එක් එක් කාණ්ඩ වලට පිළිවෙලින් සවස 6.30 - 7.15 අතර කාලයේත්, 7.15 - 8.00 අතර කාලයේත් 8.00 - 8.45 අත කාලයේත්, 8.45 - 9.30 අතර කාලයේත් විදුලිය විනාඩි 45 කට විසන්ධි කිරීමට සිදුවන බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව කඩිනමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාල හරහා සියළුම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල දැනුවත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට උදෑසන 9.00 න් පසුව තම ප්‍රදේශයේ විදුලි බිඳවැටීම් පිළිබඳව ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් විස්තර ලබාගත හැකි බව ලංවිම පෙන්වාදෙයි. එමෙන්ම ලංවිම ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය - 1987 අංකය ඇමතීමෙන් මේ පිළිබඳව වැඩි විස්තර ලබාගත හැකි බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.